කොළඹ කසල කළමනාකරණයට නව ව්‍යාපෘතියක්

කොළඹ නගරය තුල ජනනය වන දිරාපත්වන කසල හා ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි කසල කෙලවරපිටිය පිහිටි Waste to Energy බලාගාරය වෙත යොමුකර එම කසල දහනය කිරීම මඟින් නිපදවෙන මෙගාවොට් 10ක විදුලිය ජාතික විදුලිබල පද්ධතිය වෙත ලබාදීම වර්තමානයේ සිදුකලද දිරන කසලවල පවතින අධික තෙතමනය හමුවේ බලාගාරයේ යන්ත්‍ර නිතර ක්‍රියාවිරහිතවීම් වලට ලක්වීම නිසා නාගරික කසල කළමනාකරණය සඳහා මෙම ක්‍රමවේදය තිරසර විසඳුමක් නොවන බව නිරීක්ෂණය වී ඇත.

කොළඹ මහා නගර සභාව විසින් කසල කළමනාකරණය සඳහා තිරසර විසඳුම් සොයමින් පවතින පසුබිමක දකුණු කොරියාවේ සෝල් මෙට්‍රොපොලිටන් රජය විසින් ක්‍රියාත්මක Seoul ODA Challenge - 2024 වැඩසටහන සඳහා කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව රටවල් 31ක නගර 95ක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාපත්‍ර අතරින් හොඳම ව්‍යාපෘති යෝජනා 03 අතරට තේරී පත්වීමට සමත්වී ඇත.

කොළඹ නගරයේ ජනනය වන දිරාපත්වන කසල මඟින් ජනනය වන මීතේන් වායුව (Methane Capturing) මඟින් විදුලිය ජනනය කිරීම මෙම ව්‍යාපෘති යෝජනාව වන අතර, මේ සම්බන්ධව අධ්‍යයනය කිරීම සඳහා දකුණු කොරියානු විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පසුගිය දින පැමිණෙන ලදී.

එම විශේෂඥ කණ්ඩායම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොළඹ මහා නගර සභාව සමඟ එක්ව පරිසර අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, තිරසාර බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතන සමඟ සාකච්ජා කළ අතර,මේ පිලිබදව දීර්ඝ වශයෙන් අධ්‍යනය කර කසළ කළමනාකරණය සදහා වඩාත් තිරසර ව්‍යාපෘතියක් කොළඹ නගරය වෙත හදුන්වා දීමට බලාපොරොත්තු වේ.