“සේවා විශිෂ්ඨතාව වැඩිදියුණු කිරීම උදෙසා සතිමත්භවේ කලාව” (Art of Mindfulness for Improving Service Excellence) පිළිබඳ පුහුණු වැඩසටහන

“අවධානයෙන් ජීවිතය දිහා බැලීමයි සතිමත්භාවය (Mindfulness) කියල කියන්නේ. අපි අපේ නිලධාරීන්ට කාර්ය බහුලත්වය නිසා අමතක වූ තමන් ව හොයා ගන්න උපකාර වෙන විදියේ වැඩක් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කලා. හැමදාමත් ගතවෙන අතීතය ගැන හිතමින් හෝ එන්න‍ෙත් නැති අනාගතය ගැන කනගාටු වෙමින් බොහෝ දෙනා ජීවත් වන නමුත් සතිමත්භාවය අපිට කියන්නේ මේ මොහොතට නැවත ආවොත් ජීවිතය මෘදු වෙලා, පැහැදිලි වෙලා පෙනෙනවා කියලා. හුස්මක් ගන්නා සැනින්, වටපිටාවේ තියෙන ශබ්දයක් අහන විට, හදවත තුළ ඇතිවෙන හැඟීම් ප්‍රතික්ෂේප නොකර පිළිගන්නා විට, අපේ මනස සන්සුන් වන්න පටන් ගනී. එවිට කෝපය, බිය, තදබල පීඩනය ටිකෙන් ටික මැකී ගිහින්, ස්වයං අවබෝධය සහ අභ්‍යන්තර සාමය අපි තුළ වර්ධනය වෙයි. සතිමත්භාවය කියන්නේ ජීවිතය පාලනය කරන රහස් කලාවක් නොව, ජීවිතය සමඟ සාමයෙන් ජීවත් වීමේ සරලම මඟයි.

කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු/ අංශ හා දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, වැඩ ක්ෂේත්‍ර පරිපාලක හා කාර්යාල සේවක සේවයේ මහත්ම මහත්මීන් ඇතුළු සියළුම නිලධාරීන් අතුරින් තෝරාගත් කණ්ඩායමක් සඳහා සේවා විශිෂ්ඨතාව වැඩිදියුණු කිරීම උදෙසා සතිමත්භවේ කලාව” (Art of Mindfulness for Improving Service Excellence) පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.

මෙම පුහුණු වැඩසටහන 2026.01.20 වන දින පෙ.ව 08.30 සිට ප.ව 04.15 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සපිරි පියස නව ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර 80 කට ආසන්න පුහුණුලාභීන් පිරිසක් පුහුණු වැඩමුළුවට සක්‍රීයව තම දායකත්වය දක්වන ලදි.විශිෂ්ඨ මහජන සේවාවක් සැලසීම උදෙසා සතිමත්භාවයේ වැදගත්මක පිළිබඳව මෙහිදී සංවාදයට ලක් විය.පුරා දිනක් මුළුල්ලෙහි පැවති වැඩසටහනෙහි සාර්ථකත්වය දිනය අවසානයේ ලද තුති පැසසුම් තුළින් පිළිඹිබු විය.

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, පාලිත නානායක්කාර මහතාගේ මඟපෙන්වීම මත මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය යටතේ කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩමුළුවෙහි සම්පත්දායකත්වය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යයන කටයුතු අංශයේ අධ්‍යක්ෂ, ආචාර්ය සමන් වීරවංශ මහතා විසින් සපයන ලදි.