සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා නිවැරදි ආහාර රටාව හා පිරිසිදු පොල්තෙල් භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

වර්තමානයේ පවතින ආහාර හා ජීවන රටා වෙනස්වීම් හමුවේ, සෞඛ්‍යය හා ආර්ථිකය දෙකම සුරක්ෂිත කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා පිරිසිදු පොල්තෙල් භාවිතය සහ නිවැරදි ආහාර තේරීම වැදගත් විසඳුමක් ලෙස සැලකිය හැකි අතර, එමඟින් වියදම් පාලනය කරගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාමට හැකි වේ.

නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂක සපයමින් රෝග වැළැක්වීම ද සාර්ථකව සිදු කළ හැක. එබැවින් දෛනික ජීවිතයේදී පිරිසිදු පොල්තෙල් තෝරාගැනීම සහ සෞඛ්‍යමය ආහාර තේරීම් පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් වේ.

ඒ අනුව, වර්තමානයේ රට තුළ පවතින පොල් හිඟතාවය සහ ඒ හේතුවෙන් පොල් මිල ඉහළ යාමෙන් ඇතිවන ආර්ථික බලපෑම් අවම කර ගැනීම අරමුණු කරගෙන, කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් වෙනුවෙන් පොල් සංවර්ධන අධිකාරිය සහ වෛද්‍ය ජනක වන්නකු මහතා සමඟ එක් “සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා නිවැරදි ආහාර රටාව හා පිරිසිදු පොල්තෙල් භාවිතය” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 30 වන දින සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන, කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ මඟපෙන්වීම යටතේ, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කරන ලද අතර, නිලධාරීන් 150 දෙනෙකු පමණ මෙයට සහභාගී විය.