රියදුරු කාර්ය ප්‍රවර්ධන වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ රියැදුරන්, අපද්‍රව්‍ය රැස් කරන ලොරිරථ රියැදුරන්, නගරයේ දෛනික පරිපාලන හා මහජන සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවාවක් ඉටු කරමින්, නගරයේ පිරිසිදුභාවය, මහජන සෞඛ්‍යය හා පරිසර ආරක්ෂාව සඳහා වැදගත් මෙහෙවරක් සිදුකරති.

එම පසුබිම තුළ, රියැදුරන්ගේ වෘත්තිය විනය, වගකීම හා ආරක්ෂිත රිය පැදවීම පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගෙන, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් රිය පැදවීමේ ආචාරධර්ම හා වර්තමාන මාර්ග නීති පිළිබඳ සහ වාහාන නඩත්තුව සම්බන්ධ ලිපිලේඛන කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම පුහුණු වැඩසටහන් මාලාවේ පළමු කණ්ඩායම සඳහා වැඩසටහන 2026 ජනවාරි 29 දින පෙ.ව 11.30 සිට ප.ව 04.00 දක්වා සහශ්‍ර මධ්‍යස්ථානයේදී පැවැත් වු අතර කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ මඟපෙන්වීම යටතේ, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය මත, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂක කේ.එම්.ජි.බි.කේ. ඩයස් මහතාගේ සම්පත්දායකත්වයෙන්  සහ නාගරික කර්මාන්තශාලාවේ තාක්ෂණික නිලධාරී  කේ.එල්.ඒ.එස්.කේ ප්‍රනාන්දු මහතාගේ සම්පත්දායකත්වය යටතේ සාර්ථකව ක්‍රියාත්මක විය.