වැල්ලවත්ත ගිනි නිවීම් හා ජීවිත බේරා ගැනීමේ පුහුණු පාසැල විවෘත කිරීම

කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවත්ත ගිනි නිවීම් හා ජීවිත බේරා ගැනීමේ පුහුණු පාසැලෙහි නවීකරණ කටයුතු අවසන් කර 2023 ජූනි මස 26 වන දින විවෘත කරන ලදී.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු රෝෂාන් ගුණතිලක මැතිතුමා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා, කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ, එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය, ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකගේ සම්භාවනීය සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් මෙය විවෘත කරන ලදී.

මෙරට පිහිටි එකම ගිනි නිවීම් හා ජීවිත බේරා ගැනීමේ පුහුණු පාසැල මෙය වන අතර, ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීම තුළින් විදේශීය රැකියා වෙළඳපල සඳහා වෘත්තිකයන් බිහි කිරීම මෙන්ම, දේශීය ගිනි නිවීම් සේවාව තුළ නිලධාරීන්ට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම හා උනන්දුවක් දක්වන බාහිර ආයතන වල වෘත්තිකයන් පුහුණු කිරීම මෙම පුහුණු පාසැලෙහි මූලික පරමාර්ථය වේ.

එම නිසා, ඉදිරියේදී ක්‍රමයෙන් භෞතික සම්පත් හා පහසුකම් සංවර්ධනය කරමින් ගිනි නිවීම් සේවාවට අදාළ ජීවිත බේරා ගැනීම (Rescue), රසායනික/ විෂවායු අපදා කළමනාකරණය (Chemical/ Gas Disaster Management), ජෛව ආපදා කළමනාකරණය (Bio Hazard Disaster Management), ජලාශ්‍රිත ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම් (Water Rescue) වැනි අංශ රැසක පුහුණු පාඨමාලා මෙම පුහුණු පාසැල මඟින් සංවිධානය කර, ඒ තුළින් විදේශ රට වල වෘත්තිකයන් වෙත ද පුහුණු පාඨමාලා සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දී, ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානයක් බවට මෙම ගිනි නිවීම් හා ජීවිත බේරා ගැනීමේ පුහුණු පාසැල පත් කිරීමට ද කොළඹ මහා නගර සභාව විසින් සැලසුම් කර ඇත.