මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ සමාරම්භක උත්සවය (OPAC CMC System)

කොළඹ මහා නගර සභාවේ නගර සැලසුම් අංශය විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ නව වැඩසටහනක් 2024 අප්‍රේල් මස 01 වන දින පෙ.ව.10.30 ට ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ගරු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහා නගර සභා පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මේ අවස්ථාව සඳහා ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ගරු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජයසිංහ මහත්මිය, නාගරික කොමසාරිස් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය, අධ්‍යක්ෂ ඉංජ්නේරු (නගර සැලසුම්) ඉංජි අනුජ මෙන්ඩිස් මහතා, කොළඹ මහා නගර සභාවේ සියලුම දෙපාර්තමේන්තු අංශ ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලය, නගර සැලසුම් අංශයේ නිලධාරීන්, හිටපු නාගරික මන්ත්‍රීවරුන් / මන්ත්‍රීවරියන්, රජයේ ප්‍රධාන විධායක නිලධාරීන්, විශේෂිත ආරාධිත අමුත්තන්, පාසල් දරුවන්  හා ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වුහ.

මෙම සුවිශේෂී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නගරවැසීයන්ට අවශ්‍ය ඉඩම් අනුමත කිරීම්, ගොඩනැගිලි අනුමත කිරීම් හා නගර සභාවේ අභ්‍යන්තර ආයතන මඟින් නිකුත් කරන නිෂ්කාශන ලබා ගැනීම සඳහා නිවසේ සිටම අයදුම් කිරීමේ හැකියාව පවතී.මෙම ක්‍රමය මගින් අයදුම්කරු විසින් මුදල් ගෙවූ පසු දින 7 ක් තුළ අදාල බලපත්‍ර, අයදුම්කරුගේ නිවස වෙත ලබා දීමට කොළඹ මහා නගර සභාවේ නගර සැලසුම් අංශය බලාපොරොත්තු වේ.

එසේම, OPAC CMC පද්ධතිය වඩා ඵලදායි ලෙස ක්‍රියාවට නැංවීමට උර දෙමින් කොළඹ මහා නගර සභාවේ ස්ථාපිත " One Stop Counter" මඟින් ද, අයදුම්කරුවන්ට අවශ්‍ය බලපත්‍ර සඳහා අයදුම්පත්‍ර, අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.