Community Kitchen

කොළඹ මහා නගර සභාව, ONE ස්වෙච්චා වෘත්තීයවේදීන්ගේ කණ්ඩායම සමග “එන්න අපි වවමු” ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් අදම පෙළගැසෙමු” යන තේමාව යටතේ මේ වන විට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර මින් පවති. එහි තවත් එක් පියවරක් ලෙස කොළඹ නාගරික බල ප්‍රදේශයේ ආර්ථික වශයෙන් අපහසුතාවයන්ට ලක්ව සිටින ජනතාවගේ කුසගින්න නිවාලීම සඳහා ගරු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ සංකල්පයක් යටතේ ප්‍රජා කුස්සිය (Community kitchen ) තේමාව කොටගත් පීසු ආහාර ජනතාව වෙත ලබාදීමේ වැඩසටහනක් අද (04) දින කිරුලපන නාගස්වත්ත ළමා සම්පත් මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී.
Voice සංවිධානයේ මගපෙන්වීම යටතේ විශාකා තිලකරත්න මහත්මියගේ මූලිකත්වයෙන් ප්‍රජා කුස්සිය (Community kitchen)  සංකල්පය කිරුළපන, නාගස්වත්ත ප්‍රදේශයේ ප්‍රජා සහභාගිත්වය සහිතව තෝරාගත් කණ්ඩායම් වෙනුවෙන්, අවශ්‍යතා අනුව හැකි පමණින් දිවා ආහාර වේලක් සපයාදීමට කටයුතු සිදුකරනු ලබයි.
අදින් අරඹන මෙම ප්‍රජා කුස්සි (Community Kitchen) ව්‍යාපෘතිය කොළඹ නාගරික බල ප්‍රදේශයේ සෑම නාගරික කොට්ඨාසයක් තුළම  ව්‍යාප්ත කිරීමට ඉදිරියේදී කටයුතු සූදානම් කර ඇත.
මේ සඳහා සුදුසුකම් ලබන පිරිස් වනුයේ වයස අවුරුදු 1-5 දක්වා ළමුන්, ගැබිණි මව්වරුන් , කිරි දෙන මව්වරුන් ,ආබාධිත පුද්ගලයින් , කාන්තා මූලික නිවාස, සමාජීය වශයෙන් ආබාධිත පුද්ගලයින් වේ.
කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්ෂේත්‍ර සමීක්ෂණයක් සිදු කර  නාගස්වත්ත ප්‍රදේශයේ අඩු පෝෂණයකින් යුක්ත පිරිස් 152 මේ වන විට හඳුනාගෙන ඇත. ක්ෂේත්‍ර සමීක්ෂණය මගින් තෝරාගත් මෙම සාමාජිකයන්ගේ උස සහ බර මැනීම මේ වන විටත් සිදුකර අවසන් අතර, මෙම ව්‍යාපෘතිය අවසානයේ දී ඔවුන්ගේ පෝෂණ මට්ටමේ ප්‍රගතිය පිළිබඳව දැන ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
තෝරාගත් කණ්ඩායමේ සාමාජිකයන් වෙත කූපන් පතක් ලබා දෙන අතර පැමිණෙන සෑම අවස්ථාවකදීම එම කූපන්පත හා හැඳුනුම්පත ළඟ තබාගැනීම අනිවාර්ය වේ. කලින් සූදානම් කර තබා ගත් පිඟානක් සහ කෝප්පයක් ආහාර ලබාගැනීමට පැමිණෙන අවස්ථාවේදී රැගෙන ආ යුතුය අතර පොලිතින් බෑග් හෝ වෙනත් භාජන වලට ආහාර ලබා දීම සිදු නොකරනු ලබයි. කූපන් පත හිමි පුද්ගලයා ම ඒය රැගෙන ආ යුතු අතර වෙනත් කිසිවකුට මේ සඳහා පැමිණිය නොහැක. ආහාර නිකුත්කිරීම සතියේ දින 05 තුළ දහවල් 12.00 සිට 12.45 දක්වා පමණක් සිදුකරනු ලබයි.