‘’යහපත් ජීවන රටාවකින් සාර්ථක අනාගතයක්" යන තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රාථමික ශ්‍රේණියේ නිලධාරීන් සඳහා "යහපත් ජීවන රටාවකින් සාර්ථක අනාගතයක්" යන තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.06.24 දින සපිරි පියස නව ශ්‍රවණාගාරයේදී නිලධාරීන් 150 දෙනෙකුගේ සහභාගීත්වයෙන්  පවත්වන ලදී.

මෙම වැඩසටහන ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෆ්.ආර්.අයි. සාලි මහත්මියගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වුණු අතර, නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්. රෝහණ මහතාගේ නිබඳ මඟපෙන්වීම හා සහභාගීත්වයෙන්ද, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය යටතේද සාර්ථකව සංවිධානය කරන ලදී. තවද ආයතන හා මානව සම්පත් සංවර්ධන කමිටුවේ සමාජික ගරු නාගරික මන්ත්‍රි ඔෂාන් අසංසන රන්දුනුක මහතාද මේ අවස්ථාව සඳහා සහභාගී විය.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ නිලධාරීන් අතර සෞඛ්‍ය සම්පන්න හා වගකීම් සහගත ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම  සඳහා ඉවහල් වන වැදගත් කරුණු පිළීබඳව දැනුවත් කිරීමත් ඒ පිළිබඳව පරිකල්පනය සඳහා පෙළඹවීමක් ඇති කිරීමය.

තවද, යහපත් ජීවන රටාවක වැදගත්කම, මානසික හා කායික සෞඛ්‍යය පවත්වා ගැනීම, ආතතිය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම, සේවා ස්ථානයේ වගකීම් සහගත හැසිරීම, පවුල් හා සමාජ සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා මඟපෙන්වීම් පිළිබඳව සහභාගී වූ නිලධාරීන් මෙහිදි දැනුවත් කරන ලදී.