“විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය” පිළිබඳ පුහුණු වැඩසටහන

 

කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු/ අංශ හා දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු පරිපාලන නිලධාරීන්,සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් අතුරින් තෝරාගත් කණ්ඩායමක් සඳහා “විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය” පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.

මෙම පුහුණු වැඩසටහන 2026.08.25 වන දින පෙ.ව 08.30 සිට ප.ව 04.15 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සහස්‍ර මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර 46 ක් පමණ නිලධාරීන් කණ්ඩායමක් මහත් උද්යෝගයෙන් මෙම වැඩසටහනට යොමු විය.විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවිධාන, මධ්‍යගත හා විමධ්‍යගත විශ්‍රාම වැටුප් ක්‍රියාවලිය, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව මෙන්ම විශ්‍රාම වැටුප් සකස් කිරීමේදී නිලධාරීන් විසින් මුහුණ දෙනු ලබන ප්‍රායෝගික ගැටළු පිළිබඳව මෙහිදී අවධානයට ලක් විය.

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, ඒ.ඩී.එස්.රෝහණ මහතාගේ නිබඳ මඟපෙන්වීම වැඩසටහන කෙරෙහි ලද අතර මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සප්තා ලැනරෝල් මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය මඟින් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (විශ්‍රාම වැටුප්) ඒ.ඩී.අයි.මෙන්ඩිස් මහතා විසින් සපයන ලදි.